නොකියපු කතාවක්..

“දෙවැනි වේදිකාවේ තිබෙන පොඩි මැණිකේ දුම් රිය පෙරවරු 5.55ට මහනුවර සහ බදුල්ල බලා පිටත් වේ” කොටුවේ ස්ටේසමේ යකඩ කටින් කියද්දිත් තාම මං හිටියේ ස්ටේසමේ ටිකට් ගන්න තැන. පොල්ගහවෙලින් බැස්සත් පොඩි මැණිකෙට ගොඩ වුණොත් ඉක්මනටම ගෙදරට යා ගන්න පුළුවනි. දනි පනි ගාලා ටිකට් එකත් අරං කෝච්චියට ගොඩ වෙද්දි සීට් ගානට සෙනඟ පිරිලා. හැබැයි එක තැනක පොඩි ඉඩක් හොයා ගන්න පුළුවන් වුණා. කෝච්චිය ලඟට පොඩි පහේ කරත්ත වලින් ගේන නෙස්කැෆේ එකකුත් අරං මගෙ කන් කූරු දෙකත් ගහගෙන මං හරි බරි ගැහුණා. තව මිනිත්තු පහක් හයක් යද්දි කෝච්චිය තමන්ගේ ගමන පටන් ගත්තා, “රියදුරු දෑතට දෙවි පිහිටයි”!.
හැමදාම වගේ කොටුවේ ඉඳං කෝච්චිය පටන් ගත්ත ගමන් මට නින්දක් ගියා, සාමාන්‍යයෙන් රාගම හරියට යනකම් ඔය කුකුල් නින්ද මට එනවා. නින්ද ගිහින් නැඟිට්ට වෙලේ ඉඳන් තියෙන්නේ ගමනේ මං ආස ම කොටස. ඒ හිත අයාලේ එහෙ මෙහෙ යවන වෙලාව. මිනිස්සු දිහා බලාන එයාල ව කියවන්න උත්සහ කරන වෙලාව, එයාල කරන කියන දේවල් අනුමාන කරන වෙලාව එහෙමත් නැත්තං මගේම ජීවිතේ ගැන කිරල මනින වෙලාව.
ඔහොම තව ටිකක් යනකොට ගම්පහින් ලොකු පවුලක් ම කෝච්චි පෙට්ටියට ගොඩ වුණා. එකම කලබගෑනියයි! ගෑණු උදවිය ඉඳගන්න තැන් හොයනවා, පොඩි වුන් ආසාවේ ජනේල අයින්වලට රිංගන්න හදනවා, හයි හත්තිය තියෙන පිරිමි එයාලගේ තඩි බෑග් මළු දාන්න තැන් හොයනවා, ලඟින් බහින්නේ කවුද කියලා අහනවා එතනින් වාඩි වෙන්න. ඕක දිහා බලාන හිටිය මට තනියම හිනා ගියා, වෙන මුකුත් නිසා නෙවෙයි, ඔය විදිහට ම අපිත් බදුලු ගිය කාලයක් තිබුණු නිසා. ඉස්සර දෙසැම්බර් නිවාඩු කාලෙ කියන්නේ අපි බණ්ඩාරවෙල ලොකු අම්මලෑ දිහා යන කාලේ. එහෙ ලොකු අම්මයි, මහප්පයි, ලොකු අයියයි, ජොජ්ජයියයි, ලොක්කියි, චූටි අක්කයි හැමෝම බලාගෙන ඉන්නෙත් අපි නිවාඩුවට එහෙ එනකං. හරිම සුන්දර මතක ගොඩක් තියෙනවා ඔය බදුලු ගමනත් එක්ක.
පොල්ගහවෙල ඉඳන් බණ්ඩාරවෙලට යන මේ ගමනට සෑහෙන වෙලා ගන්නවා. පොඩි එව්වො වෙච්චි අපිට ඕක තවත් දැනුණා. මට තාමත් මතකයි අපේ දාංගලේ නවත්ත ගන්න සුදු මාමා පොඩි වැඩක් අපිට භාර දෙනවා. ඒ එක්කො තියෙන බිං ගෙවල් ගනින්න, නැත්තං දුම් රිය නැවතුම්පොලවල් ගාණ කීයද කියලා හරියටම කියන්න. වැඩේ හරියට කෙරෙන්න ඕනි නිසා ශාන්ත දාන්ත තීන්ත කුඩු වගේ අපි එතකොට. අතේ ඇඟිලියි, කකුලේ ඇඟිලියි, මදි පාඩුවට අනිකගේ ඇඟිලියි ඔක්කොම ගැන ගැන ගිය ගමන හරිම සුන්දරයි. පේරාදෙණිය හංදියෙන් පස්සේ ගොඩක් වෙලාවට සීට් හම්බෙනවා, කොහොම හරි ජනේලෙ පැත්තේ සීට් එකක් අල්ලගන්න අපි ඔක්කොම දඟලන්නේ පණු කැවිල්ල හැදුණු පොඩි එව්වො වගේ. ඒ කාලේ දැන් වගේ හිතෙන හිතෙන වෙලාවට ෆොටෝ ගැහිල්ලකුත් තිබුණේ නෑ. තිස් හයේ ෆූජි රීල් එකකින් මුළු ට්‍රිප් එකම කවර් කරන්න වෙනවා. ඒ නිසා මතක ගොඩක් තියෙන්නේ හිතේ, මේ වගේ වෙලාවට එකින් එක අදිද්දි බොඳ වෙන්න ඔන්න මෙන්න තියෙන ඒ මතක ආයෙමත් අළුත් වෙනවා. එක අතකට අපිව පුංචි කාලේ ඔය වගේ සැහැල්ලුවට හදපු එක ගැන අම්මලට අනේක වාරයක් ස්තූති කරන්න ඕනි.
කොළඹ ඉඳලා බදුල්ලට කෝච්චියේ ගමන විඳපු හැමෝම දන්න තැනක් තමයි ඔහිය ස්ටේසම, පැටිය කාලේ ඉඳන් ම බදුළු ගමනේ මං ආසම තැන තමයි ඔහිය. එතැන දි මට දැනෙන හැඟීම හරිම අමුතුයි. පරණ, කියා ගන්න බැරි මොකද්දෝ පුදුමාකාර පුරුදු මතකයක් තියෙනවා. කෝච්චිය ඔහිය දාලා හැල්මේ දුවද්දි මට කෑගහලා අඬන්න පුළුවන් විදිහේ දුකක් එනවා, හැබැයි කවදාවත් ඇත්තටම අඬලා නෑ, මොකට ගෙදර අයව බය කරනව ද? 🙂
ඔහියේ ඉඳලා ඉදල්ගස් හින්න පැත්තට යනකොට කෝච්චි පාරෙන් පොඩ්ඩක් එහාට වෙන්න තියෙනවා පොඩි සොහොනක්, මං ඉස්සෙල්ලම ඔය ගැන කියෙව්වේ බත් එක ඔතලා තිබුණු පත්තර කෑල්ලක. නමක් නැති සොහොන් කොතක් කියලා තමයි කියවෙන්නේ, ගලින් කෙටුව කුරුසියකුයි දෙමල අක්ෂර වගේකුයි තියෙන නිසා ගොඩක් අය විශ්වාස කරන්නේ මේ ඉන්දියාවෙන් ලංකාවට ආව දෙමල මනුස්සයෙක්ගේ සොහොන කියල.
1863 ලබද්දි මුහුද මැද හිටි ලෝක්නාථ් ඊට දෙදොහකට පස්සේ කොළඹ වරායෙන් ලංකාවට ගොඩ බැස්සේ තමන් එක්ක ඉන්දියාවෙදි එකට වැඩ කරපු තවත් ඉංගිරිසි දුම් රිය ඉංජිනේරුවරු දෙන්නෙක් එක්කයි, තවමත් වැඩ සම්පූර්ණයෙන්ම ඉවර නොවුණු ඉන්දීය ප්‍රධාන දුම් රිය මාර්ගයේ වැඩ වලින් තාවකාලිකව ඉවත් වෙලා වහාම ලංකාවට වාර්ථා කරන්න කියලා ලෝක්නාථ් ට දැන්නුවෙ ෆෙවිල්. ලත් තැනම ලොප් වෙලා තිබුණු ලංකාවේ දුම් රිය මාර්ග කටයුතු ආරම්භ කරන්න ෆෙවිල්ට නීත්‍යානුකූල බල තල ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලැබිලා තිබුණා. ඒ හරියටම 1862 නොවැම්බර් මාසේ මුල. කොළනි ලේකම් විසින් මෝල්ස්වත් ඉංජිනේරුවා පත් කරලා තිබුණා දුම් රිය මාර්ග කටයුතු සහ කොන්ත්‍රාත් ලේඛන අධීක්ෂණයට, හැබැයි ෆෙවිල් විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ප්‍රධාන සහය ඉංජිනේරුවා විදිහට ලෝක්නාථ් ව ලබා දෙන්න කියලා, ඉන්දීය දුම් රිය මාර්ග සංවර්ධන කටයුතු කරද්දී ලෝක්නාථ්ගේ විශිෂ්ට හැකියාවන් ගැන ෆෙවිල් නොසෑහෙන්න පැහැදිලා හිටියේ.
එක අතකට මේ වෙද්දි ඉන්දියාවේ තමන්ගේ කටයුතු ගැන පොඩි දෙගිඩියාවකින් හිටි ලෝක්නාථ් ට මේ අලුත් ආරාධනාව දේව ආශිර්වාදයක් වුණා. සුද්දා කරන හැම වැඩේම හොඳයි නොකියපු ලෝක්නාථ් තමන් අසීරුවෙන් ඉගෙන ගත්ත දේ තමන් උපන් රටට නැවත දෙන්න හිතුවත් ගොඩක් දේශප්‍රේමී ඉන්දියානුවන් ලෝක්නාථ් ව සැලකුවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ බත් බැලයෙක් හැටියට.
කොහොමින් කොහොමහරි ලංකාවට ආපු ලෝක්නාථ් ට පැවරිලා තිබුණු පළවෙනි කාරිය වුණේ මාර්තු මාසෙ ෆෙවිල් ලංකාවට එන්න කලියෙන් පොඩි පහේ සක්‍යතා වාර්තාවක් හදන්න. ෆෙවිල් මේ කටයුත්ත මෝල්ස්වර්ත්ට දැනුම් දීලා තිබුණේ නෑ. දැනටමත් නීතිමය කටයුතු අහවර වෙලා ලංකාවේ දුම් රිය මාර්ගයක් හදන්න කියන බැරෑරුම් වගකීම ෆෙවිල්ට තිබුණට ඒකට අවශ්ය විශ්වාසෙත් ෆෙවිල්ට තිබුණට ෆෙවිල්ට ඕනි වුණා කලින් වතාවේ මේ කටයුත්ත ලත් තැනම ලොප් වුණු ඇත්ත කාරණේ හොයා ගන්න. කාටත් වඩා මේ වැඩේට දක්ෂයා ලෝක්නාථ් කියලා ෆෙවිල් දැනං හිටියා, ඒකට අවශ්ය තාක්ෂණික දැනුම වගේ ම අවශ්ය විනයක් බුද්ධියක් ලෝක්නාථ් ට තියෙන වග ෆෙවිල් පහුගිය අවුරුදු දෙකට හොඳට තේරුම් අරගෙන හිටියේ.
කොහොමින් කොහොම හරි එකදාස් අටසිය හැට තුන අවුරුද්දේ මාරුතු මාසෙ මුල් සතියේ ෆෙවිල් කොළඹ වරායෙන් ගොඩ බහින කොට ලෝක්නාථ් තමන්ට පැවරුණ වැඩේ හරියටම කරලා තිබුණේ. ඒ ගැම්මටම ෆෙවිල් තමන්ගේ කටයුතු පටන් ගත්තා. 1864 වෙද්දි සැලසුමේ හැටියටම කොළඹ ඉඳන් අඹේපුස්සට කෝච්චි පාර හදන්න ෆෙවිල් ඇතුළු කණ්ඩායමට පුළුවන් වුණා. වැඩ කටයුතු මේ තරම් ඉක්මනට ඉවර වෙන්න එක හේතුවක් වුණේ කලින් වැඩ භාර වෙලා හිටි “ලංකා දුම් රිය කොම්පැනිය” එයාලගේ වැඩ නවතන්න කලිං සෑහෙන ප්‍රමානෙකට බිම් සැකසුම් කටයුතු කරලා තිබුණු නිසා. හැබැයි කෝච්චි පාරේ කටයුතු අඹේපුස්සට ලං වෙද්දි ෆෙවිල් අධික මහන්සිය නිසා ම අසනීප වෙලා හිටියේ. මෝල්ස්වර්ත් තමන්ගේ කටයුතු හරියාකාරව නොකරපු නිසා ෆෙවිල්ට වැඩ දෙක වුණ අවස්ථා නොතිබුණා ම නෙවෙයි, හැබැයි ෆෙවිල් වැටෙන හැම වෙලේම ලෝක්නාථ් ලඟ තිබුණා හොඳ උත්තර. මෝල්ස්වර්ත්ගේ අත්තනෝමතික පාලනයත් ෆෙවිල්ගේ හදිසි අසනීප තත්වයත් නිසා දුම් රිය මාර්ගේ වැඩ වලට ආපු ලංකාවේ ඈයො ටික පොඩ්ඩක් තක්කු මුක්කු වෙලා හිටියේ. එක පාරකුත් බැරි වුණු වැඩේ ගැන එයාලගේ තිබුණේ සුළු පටු සැකයක් නෙවෙයි. ලෝක්නාථ් ඒ හැමවෙලේම තමන් ඉන්දියාවෙදි ලබාපු අත්දැකීම් එහෙම මේ ඈයොත් එක්ක බෙදා හදාගෙන පුළුවන් හැටියට අවසන් අදියරේ කටයුතු කරගෙන ගියා. මේ වෙද්දි මේ කටයුත්තට ලංකාවෙන් දායක වෙලා හිටි බොහෝ දෙනාගේ හිත මේ කට්ට කළු ඉන්දියානුවට ඇදිලා තිබුණේ, බොහෝමයක් ඉන්ග්‍රීසි ඉංජිනේරුවන්ගෙත් වැඩි මනාපයක් ලෝක්නාථ්ට හිමි වෙද්දි මෝල්ස්වර්ත්ට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වුණා. කොහොමින් කොහොම හරි කෝච්චි පාරේ වැඩ කටයුතු අහවර වෙලා තිබුණත් පළවෙනි කෝච්චි ගමන තවත් පෝය හතරක් විතර පරක්කු වුණා. අන්තිමේ එක්දාස් අටසිය හැට පහේ ඔක්තෝබර් දෙවැනිදා හා හා පුරා කියලා කෝච්චියක් කොළඹ ඉඳන් අඹේපුස්සට ගමන් ඇරඹුවා.
එදා පළවෙනි දුම් රිය ගමන අඹේපුස්සෙන් ඉවර වෙලා බ්‍රිතාන්ය ආණ්ඩුකාරයා පළවෙනියට මුණ ගැහුනේ මෝල්ස්වර්ත්ව. මෝල්ස්වර්ත් ව නොසෑහෙන්න අගය කලේ ප්‍රධාන වශයෙන්ම මෝල්ස්වර්ත් බ්‍රිතාන්ය ආණ්ඩුවට වග කියන නිළධාරියා වෙච්චි නිසා. අසනීපෙන් හිටි ෆෙවිල් ව මුණගැහුණේ ඊට පස්සේ. මේ හැමදෙයක්ම මෝල්ස්වර්ත්ව තවත් නරක පැත්තට යොමු කලා, මොකද මෝල්ස්වර්ත් දැනන් හිටියා ෆෙවිල් ලෝක්නාථ් එකතුව බ්‍රිතාන්ය ආණ්ඩුවේ මේ හීනෙ කොහොම හරි හැබෑ කරනව කියලා, හැබැයි ඒකේ නම ලැබෙන්නේ තමාට කියලා.
ආයෙමත් ෆෙවිල් දුම් රිය මාර්ගයේ කටයුතු වලට දායක වෙන්න ගත්තත් අඹේපුස්සෙන් පස්සෙ මා ඔයේ එහා මෙහා කොණ යා කරන හැටියක් ෆෙවිල්ට එක පාරටම හිතා ගන්න බැරුව හිටියේ. මෝල්ස්වර්ත් මේ වෙද්දිත් හිටියේ බ්‍රිතාන්ය ආණ්ඩුකාරයාගේ වර්ණනාවලින් මුසපත් වෙලා. එතනදිත් ෆෙවිල්ගේ උදව්වට හිටියේ ලෝක්නාථ්. අන්තිමේ ෆෙවිල් ලෝක්නාථ් එකතුව මෝල්ස්වර්ත් සහයත් අඩු වැඩියෙන් ලැබෙද්දි එකදාස් අටසිය හැට හතේ බක් මාසේ වෙද්දි කොළඹ නුවර දුම් රිය මාර්ගයකින් යා කලා.
හැබැයි මේ වෙද්දි ෆෙවිල්ට තිබුණේ හිතේ ධෛර්යය විතරයි. දුම් රිය මාර්ගේ කටයුතුත් එක්කම ෆෙවිල් නොසෑහෙන්න දුර්වල වෙලා හිටියේ. ෆෙවිල් විතරක් නෙවෙයි දුම් රිය මාර්ගේ කටයුත්තට බ්‍රිතාන්‍යයෙන් ආපු ගොඩක් නිළධාරින් දුර්වල වෙලා නැත්තං නො එන ගමන් ගිහින් හිටියේ. මේ කටයුත්තට එකතු වුණු, බලෙන් එකතු කල ගොඩක් ලාංකිකයොත් බොහෝමයක් අමාරු අඩියේ හිටියේ. සමහර වෙලාවට ෆෙවිල් කිව්වේ ලෝක්නාථ් නොහිටින්න මේ කටයුත්ත මෙච්චර සාර්ථක නොවෙන්න තිබුණා කියලා, හැබැයි ෆෙවිල් වුණත් මෝල්ස්වර්ත්ට ඇහෙන්න මේ දේවල් කිව්වේ නෑ.
මෝල්ස්වර්ත් ලෝක්නාථ් අතර තිබුණේ සීතල යුද්ධයක්, ලෝක්නාථ්ගේ ඉවසීම නොතිබෙන්න මේ හැමදේම සතුටු විදිහට අහවර වෙන්න තිබුණු ඉඩ හරි අඩු වග ෆෙවිල් දැනන් හිටියා. ඒත් මෝල්ස්වර්ත් බ්‍රිතාන්ය ආණ්ඩුවෙන් පත් කල විශේෂ මනුස්සයෙක් නිසා කොච්චර වුණත් හිතේත් පොඩි පහේ දෙගිඩියාවක් තිබුණා ලොකු තීරණයක් ගන්න මේ සීතල යුද්ධෙට. අවසානේ කොළඹ නුවර දුම් රිය මාර්ගේ කටයුතු ඉවර වෙලා එකදාස් අටසිය හැට හතරේ අගෝස්තු මාසේ සාමාන්ය ජනයාට විවෘත කරන්නත් කලියෙන් ෆෙවිල් ආණ්ඩුකාරයාගේ නියෝගයකින් ආපහු එංගලන්තයට යැව්වා. ඒ විශේෂ වරප්‍රසාද රාශියකුත් එක්ක. ලංකාවෙන් පිටත් වෙන්න කලින් ෆෙවිල් එක දෙයක් කලා, ඒ ඔහුගේ අනු දැනුම යටතේ නිර්මාණය වෙච්චි දුම් රිය මාර්ගයට වඩා එක අඟලකින් හරි මාර්ගය දියුණු කරනව නම් ලෝක්නාථ් ඒ කටයුතු වලට සුදුසුම කෙනා කියලා බ්‍රිතාන්ය ආණ්ඩුකාරයාට දැනුම් දීම. ඉන්දීය දුම් රිය මාර්ගයේ කටයුතු කලාට වඩා සෑහෙන සතුටකින් ලංකාවේ හිටි ෆෙවිල් ලංකාවට තමන්ගේ මව් රටට වගේ ම ආදරේ කලා.
නුවර ඉඳලා නානු ඔයට දුම් රිය මාර්ගය දියුණු කරන්න අවශ්ය බව වගා කරුවන් බ්‍රිතාන්ය ආණ්ඩුවට ලිඛිතව දැනුම් දුන්නේ කොළඹ-නුවර දුම් රියේ පහසුව හොඳින්ම ඔවුන්ට දැනුන නිසා. ෆෙවිල්ගේ ඉල්ලීම මතක තිබුණු ආණ්ඩුකාරවරයා ලෝක්නාථ් ට කටයුත්ත භාර කලා, හැබැයි ආයෙම වතාවක් මෝල්ස්වර්ත් ප්‍රධාන ඉංජිනේරුවරයා කරමින්. කොළඹ නුවර දුම් රිය මාර්ගයකින් යා කරන එකට ලොකු කාලයක් ගත නොවුණට නුවරින් පස්සේ තමයි ලොකුම අභියෝගය තිබුණේ. මෝල්ස්වර්ත් ලෝක්නාථ් අවුල නැත්තං සීතල යුද්ධේ අළු යට ගිනි වගේ තියෙද්දිම දුම් රිය මාර්ගේ කටයුතු හිමින් සැරේ සිද්ධ වුණා. කොච්චර හෙමින් ද කියතොත් අවුරුදු විස්සකට පොඩ්ඩක් අඩුවෙන්. අවුරුදු විසි පහක තරුණයෙකු ව ලංකාවට ගොඩ බැස්ස ලෝක්නාථ් දැන් පරිණත මනුස්සයෙක්. තමන්ගේ රස්සාව අතින් විතරක් නෙවෙයි, සාමාන්ය ජීවිතය ගැනත් ලොකු අවබෝධයක් තියෙන මිනිහෙක්. සිල් පර කොටන් අස්සටම හිර වෙලා හිටි ලෝක්නාථ් එතනින් එහාට ජීවිතයක් ගැන හිතුවේ නෑ. කොටින් ම ඉන්දියාවෙන් එද්දි එහෙත් එක්ක තිබිච්ච හැම සම්බන්ධයක් ම නවත්තලා ආපු නිසා නිකමටවත් මව් රටට ගිහින් එන්න උවමනාවක්වත් ජිවිතේ කාත් එක්ක හරි බෙදා ගන්නවත් ලෝක් නාථ්ට උවමනාවක් තිබුණේ නෑ.
මෝල්ස්වර්ත් ලෝක් නාථ්ට වඩා අවුරුද්දක් විතරයි වැඩිමහල්. එංගලන්තේ තමන්ගේ ඈයො බලන්න කීප විටක් නැව් නැග්ගත් මෝල්ස්වර්ත්ටත් ලංකාව ගෙදර වගේ තමයි. ඔහොම නැව් නැඟපු එක වතාවක ආයෙමත් මෝල්ස්ත්වර්ත් ලංකාවට ආවේ ප්‍රියම්භිකාවකුත් එක්ක. ඇය නමින් එලිසබෙත්. ලංකාවේ ජීවිතේට එක පාරටම හුරුවෙන්න එලිසබෙත්ට පුළුවන් කමක් නොතිබුණත් ලංකාවේ ලස්සන ගැන එංගලන්තේ මිනිස්සු කතා වෙන හැම දෙයක් ම ඇත්ත කියලා ඉක්මනට ම තේරුම්ගන්න ඇයට පුළුවන් වුණා. මොල්ස්වර්ත් වුණත් එලිසබෙත් ගේ ආගමනයෙන් පස්සෙ ටිකක් සෞම්ය මනුස්සයෙක් වෙලා හිටියේ, සමහරට විට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලැබුණු අසීමිත සහයෝගය නිසා වෙන්න ඇති. හැබැයි.. එක මොහොතකටවත් ලෝක් නාථ් කෙරෙහි තිබුණු අකමැත්ත අඩු වුණේ නෑ. කෝච්චි පාර දික් වෙන්න වෙන්න දෙන්න අතර තිබුණු සීතල යුද්ධේ ඇවුළුනා මිසක් අඩු වුණේ නෑ. හැබැයි මේ කට්ට කළු හැබැයි හරිම සුරුවම් ඉන්දියානුවා ගැන එලිසබෙත් ට තිබුණේ ගොඩක් හොඳ පැහැදීමක්. එලිසබෙත් ගේ මේ පැහැදීම ගැන මෝල්ස්වර්ත් ට තිබුණේ හොඳ පැහැදීමක් නෙවෙයි. ඔය කාරණේ නිසා ම පොඩි පොඩි අඬ දබර නොවුණා ම නෙවෙයි. ඒ නිසා එලිසබෙත් බොහෝමයක් වෙලාවට ලෝක් නාථ් එක්ක වැඩි පයුරු පාසානමක් තියා ගත්තේ නෑ. එලිසබෙත් විතරක් නෙවෙයි, එලිසබෙත්ටයි මෝල්ස්වර්ත්ටයි දාව ඉපදුණු පුංචි රෝස මලක් වගේ ලස්සන මේරිගෙත් ආසම පිටස්තරයා වුණේ ලෝක් නාථ්. එක දාස් අටසිය අසූ පහ වෙද්දි හිමින් සැරේ කෝච්චි පාර නානු ඔයට දික් වෙද්දි මේරි තවදුරටත් පුංචි පැටික්කියක් වුණේ නෑ. අවුරුදු දා හතක් වුණු ලස්සන ගැහැණු දරුවෙක්. ලංකාවේ හිටි බොහෝමයක් ඉංග්‍රීසි නිලධාරින්ගේ එහෙමත් නැත්තං මෝල්ස්වර්ත් වගේ බොහෝ කාලයක් ලංකාවේ හිටි නිලධාරින්ගේ පුත්ර රත්නයන් බොහෝමයක් මේරි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. තාමත් පොඩි එකෙක් වගේ හිටි දඟකාර මේරි ට ඔය ගැන ලොකු අවධානයක් නොතිබුණත් එලිසබෙත් නොසෑහෙන්න උවමනාවෙන් හිටියේ මේරි ව සුදුසු කෙනෙකුගේ වගකීම කරන්න.
නානු ඔයෙන් පස්සෙ බණ්ඩාරවෙලට කෝච්චි පාර දික් කරන්න කටයුතු වල නිරත වෙලා හිටි මෝල්ස්වර්ත් ට ඔය ගැන වැඩි උවමනාවක් තිබුණේ නෑ. ඇරත් මේ වෙද්දි ලංකාවෙන් හොයා ගන්න පුළුවන් ශ්රම බලකාය ගැන මෝල්ස්වර්ත්ට තිබුණේ ලොකු බයක්, ඒ වගේම කේන්තියක්. ඉංග්‍රීසින්ට එරෙහිව ජාතික ව්‍යාපාර ගැන ආරංචි මේ ඈත ගම් වලටත් දැනෙද්දි එන්න එන්න ම කොච්චි පාරේ කටයුතු වලට හොයා ගන්න පුළුවන් මිනිස්සු ගාණ අඩු වුණා. කෝච්චි පාරේ කටයුතු වලට විතරක් නෙවෙයි, කෝපි වතු වල වගේම ජේම්ස් ටේලර් ගේ අලුත් තේ වතු වල වැඩ වලට ඕනි කරන මිනිස්සු අලුතෙන් හොයා ගන්න එක කළුනික හොයන තරමට අමාරු වෙද්දි ඉංග්‍රීසි ආණ්ඩුව තීරණයක් ගත්තා ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්වන්න. විශේෂයෙන් ම දකුණු ඉන්දියාවේ තියෙන ප්‍රශ්න කීපයක් විසඳ ගන්නත් මේක හොඳ අවස්ථාවක් කියලා ඉංග්‍රීසි ආණ්ඩුවට තේරිලා තිබුණේ. කොහොමින් කොහොම හරි ඉන්දියාවෙන් බුරුතු පිටින් අවශ්ය ශ්රම බලකාය ලැබෙද්දි දුම් රිය මාර්ගේ කටයුතු සෑහෙන්න වේගවත් වුණා. ඉන්දියානුවෙක් වුණත් දැනටමත් ලංකාවේ මනුස්සයෙක් වගේ වෙච්චි ලෝක් නාථ් ට හිතුනේ මේ ලොකු ප්‍රශ්නයක මුලක් කියලයි, හැබැයි තමන්ට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පැවරුනු වගකීම සාර්ථකව කර ගන්න ලංකාවේ මිනිස්සුන්ගේ සහයෝගය නොලැබෙන කොට ලෝක් නාථ් ට වුණත් ඉන්දියාවෙන් ආපු මේ මිනිස්සු මත ම බලාපොරොත්තු තියා ගන්න සිද්ධ වුණා.
ඉන්දියාවෙදි කුල බේද නිසා තැලිලා පොඩි වෙලා හිටි මේ මිනිස්සු අතර නාහෙට නාහන මිනිස්සු නොහිටියම නෙවෙයි. අළුත් රටක අළුත් විදිහට ජීවිතේ පටන් ගන්න ඕනි තරම් අවස්ථාව තිබුණත් සමහර ඈයො තෝර ගත්තේ පරණ විදිහමයි. ඔය නිසා ම ලෝක් නාථ් හිටියේ සෑහෙන විමසිල්ලෙන්. වේලු කියන මේ හීන්දෑරි කොලුවත් ඔය වගේ. අම්මා අප්පා නැතුව ලංකාවට ඇවිල්ල හිටි අවුරුදු විසි පහක් විතර වෙච්ච මේ කොලුවා හැම වෙලේම උත්සහ කලේ ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව මොන මොනවා හරි කරන්න, එතකොට පිරිස ඉස්සරහ වීරයෙක් වෙන්න පුළුවන් කියන අදහස වේලුගේ හිතේ තිබුණා. මොනා වුණත් මහ දවල් මංකොල්ලයක් වගේ ඇස් පනා පිට මේ වෙන ශ්රම මංකොල්ලය ගැන ගොඩක් අයට ලොකු පැහැදීමක් තිබුණේ නෑ. ඉන්දියාවෙන් එන්න කලියෙන් මේ අයට වෙච්ච එක පොරොන්දුවක්වත් හරියට ඉටු නොවෙද්දි වේලුව වීරයෙක් වගේ පෙනුණ එකේ වරදක් නෑ. ආපු ඔක්කෝමල ගැන මෙහෙම විමසිල්ලක් නොතිබුණත් ලෝක් නාථ් ට හිතවත් වැඩ කම්කරුවො වේලුගේ මේ වැඩ ගැන ලෝක් නාථ් එක්ක කියලා තිබුණු නිසා ලෝක් නාථ් වේලු ගැන ඇහැ ගහගෙන හිටියේ. ලෝක් නාථ් එක්කත් වේලුට ප්‍රශ්න තිබුණා, හැබැයි කනින් කොනින් ලෝක් නාථ්ගේ කතාව අහල තිබුණු වේලු ලෝක් නාථ් ඉස්සරහ වැඩිමනත් ප්‍රශ්න දා ගන්න කැමති වුණේ නෑ. හැබැයි ඩිංග බැරි වෙන්න මිනිස්සුන්ව තලා පෙලා දාන මෝල්ස්වර්ත් ගැන වේලුට තිබුණේ බිංදුවක්වත් අඩු නොවෙන තරහක්. කෝච්චි පාරෙ වැඩ භාර වෙලා ඉන්න ලොකුම මිනිහා නිසා මිසක මේ වෙද්දි මෝල්ස්වර්ත් එක්ක ඔයිට වඩා ප්‍රශ්න වේලු ට තියෙන්න තිබුණා. දවසින් දවස මෝල්ස්වර්ත්ගේ දරදඬු ගතිය වැඩි වුනෙත් වේලු වටේ මිනිස්සු එක්කාසු වුනෙත් හරියට කලින් කතා වෙලා වගේ. ලෝක් නාථ් බොහෝ වෙලාවට මේ විරසකය අඩු කරන්න උත්සහ කලත් කාලාන්තරයක් තිස්සේ තිබුණු මෝල්ස්වර්ත්-ලෝක් නාථ් සීතල යුද්ධේ මේ උත්සහයන් ව්‍යාර්ථ කලා.
මෝල්ස්වර්ත්- ලෝක් නාථ් කඹ ඇදිල්ල, වේලු ගේ කඩාකප්පල්කාරී වැඩ එක්ක කොහොම හරි ඔහියටත් කෝච්චි පාර දික් වුණා. ඔහියේ ලස්සන අහපු ගොඩ දෙනා මේ තැන බලන්න ආවා. ඔය අතර එලිසබෙත් එක්ක ආපු මේරි ත් හිටියා. ඒ තමයි වේලු ඉස් ඉස්සෙල්ලම මේරි ව දැක්කේ. ඉන්දියාවෙදියි ලංකාවෙදියි ඇති තරං ඉංග්‍රීසි ගෑණු දැකලා තිබුණට මෙහෙම ලස්සන ගෑණු ලමයෙක් වේලු දැක්කමයි. මේ ලස්සන වේලු දැක්කෙ වෙන විදිහකට, මෝල්ස්වර්ත් ට රිදවන්න පුළුවන් හොඳම ක්‍රමේ හැටියට. වේලුට කනින් කොනින් ආරංචි වුණු විදිහට මෝල්ස්වර්ත් තමන්ගේ පණටත් වඩා මේරිට ආදරේ කලා. ඔහියෙදි මේරිව දැකපු දා ඉඳලා වේලුගේ ඔළුවේ තිබුණේ එකම අරමුණයි, ඒ මේරිගේ මාර්ගෙන් මෝල්ස්වර්ත් ට රිදවන එක. වැඩේ හිතපු තරං ලේසි නොවුණේ මේරි කොයිම වෙලාවකවත් තනියම ගමන් බිමන් නොයන නිසා.
වේලු ගැන ඇහැ ගහගෙන හිටපු ලෝක් නාථ්ට වේලුගෙ වෙනසක් පෙනුනත් මේ අළුත් වෙනස හිතා ගන්න බැරුව හිටියේ. කොහොම වුණත් ලෝක් නාථ් දැනන් හිටියා කුණාටුවට කලින් මුහුද නිශ්චලයි කියලා, ඒ නිසා ලෝක් නාථ්ගේ හිතවත් ම ගෝලයා වේලුගේ ගමන් බිමන් ගැන හොයන්න යොදවලා හිටියේ.
මේ කිසිම දෙයක් ගැන නොදැන හිටි මේරි තමන්ගේ පුරුදු විනෝද කාමී ජීවිතේ ගෙවමින් හිටියේ. එදා හැන්දෑවේ ජෝර්ජ්, ඒ කියන්නේ මෝල්ස්වර්ත්ගේ විශ්වාසවන්තම ඉංග්‍රීසි නිලධාරියත් එක්ක තරඟෙට අස්සයො පදින්න යන්න වුණත් මේරි පැකිලුනේ නැත්තේ ඒ නිසා, අනික ජෝර්ජ් ගැන මේරිගේ හිතේ අලුතෙන් ඇතිවෙච්ච අමුතු හැඟීම නිසා කිසි බයක් මේ ගැන මේරිට තිබුණේ නෑ. තාම වචන වලින් නොකිව්වට ජෝර්ජ් මේ වෙද්දි මේරිට ආදරේ කරමින් හිටියේ. ඒ ආදරේ වචන වලට පරිවර්තනය කරන්න හොඳම දවස එදා හැන්දෑව කියලා ජෝර්ජ් දැනන් හිටියා.
එදා හැන්දෑව වෙනදාට වැඩිය සීතල හැන්දෑවක් වුණා, අස්සයො පදින්න තිබුණු ආසාව මිසක මේරිටත් එලියට බහින්න නොහිතුණු ඝන මීදුමකින් හැමතැනම වැහිලා තිබුණු හැන්දෑවක්. එලිසබෙත් ඒ කියන්නේ මෝල්ස්වර්ත්ගේ බිරිඳ වුණත් ලංකාවෙදි දැක්ක ලොකුම මීදුම මේක තමා, මීදුමේ හදිසි කරදරේ නිසා කෝච්චි පාරේ කටයුතු කලින් අවසන් කල මෝල්ස්වර්ත් මේ වෙද්දිත් ඔවුන්ගේ නිවස්නෙට ඇවිත් තිබුණේ. මීදුම නිසා අනතුරක් වුණොත් වෙන පාඩුව දවස් භාගයක් කෝච්චි පාරේ කටයුතු පරක්කු වෙනවට වඩා මහා කරදරයක් වග ලෝක් නාථ් දන්වලා තිබුණා.
කලින් වැඩ අහවර වුණු සන්තෝසෙන් තමන්ගේ ලයින් කාමර වලට යමින් හිටිය වේලුට අස්ස කුර හඬක් ඇහුණේ අහම්බෙන්. මේ මීදුමේ අස්සයෝ පදින්නේ මොන මෝඩයද කියලා බලන්න පස් කණ්ඩිය උඩට නැඟපු වේලුට තමන්ගේ ඇස් අදහගන්න බැරි වුණා. ඒ මේරියි මෝල්ස්වර්ත්ගේ දකුණු අත වෙච්ච ජෝර්ජ් කියන ඉංග්‍රීසි නිලධාරියයි මීදුමේ කිසිම වගක් නැතිව හිනා වෙවී අස්සයෝ දක්කන නිසා. මෝල්ස්වර්ත්ගේ හයිය හිතට අරං හිටි ජෝර්ජ් බොහෝමයක් ඉන්දීය කම්කරුවන්ගේ පරම සතුරා වුණා. ජෝර්ජ්ගෙන් කස පාර නොකාපු කම්කරුවෙක් නැතිව ඇති.
මේ හැන්දෑව තමන් බලා හිටපු හැන්දෑව කියලා වේලුට තේරුණා. අනික් කම්කරුවන්ව මඟ හැරපු වේලු මේරි පස්සෙන් ඇදුනා, ඒ අතේ තිබුණු උදළු කෙටිය ටිකක් තදින් අල්ලගන්න ගමන්. වේලුගේ මේ ගමන ගැන මිනිත්තු දෙකක් යන්නත් කලින් ලෝක් නාථ් ට ආරංචි වුණා. ලෝක් නාථ් වේලු ගිය පාරේ ගියා මිසක වේලු මේ යන්නේ කොහෙද මොකටද කියලා ලෝක් නාථ් දැනන් හිටියේ නෑ, දැනන් හිටිය එකම දේ මේ මීදුම අස්සේ මේ මනුස්සයා යන්නේ හොඳ වැඩකට නොවෙන වග විතරයි. ලෝක් නාථ් අතේ කවදාවත් පාවිච්චි නොකරන්න හිතපු බට දෙකේ තුවක්කුව තිබුණා. කෝච්චි පාරට බිම් සකස් කලත් තාමත් පීලි අතුරලා තිබුණේ නැති පාරෙන් පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න තිබුනු පිට්ටනියට තමන්ගේ අස්සයො දක්කපු මේරි ජෝර්ජ් යුවල කල්පනා කලේ මීදුම මැද්දෙන් තමන් දිහාවට ඇදෙන රූපෙ මොකද්ද කියලා. ටික වෙලාවක් බලා ඉද්දි ජෝර්ජ්ට තේරුණා මේ එන්නේ වේලු කියලා, හැබැයි වේලු වගේ මිනිහෙක් මේ වගේ වෙලාවක මේ වගේ තැනක ඉන්නේ ඇයි කියන එක ගැන ප්‍රශ්නයක් තිබුණා ජෝර්ජ්ගේ හිතේ කොනක. කෝකටත් තමන්ගේ පිස්තෝලේ අතට ගන්න බැලුවත් තමන් මේ ගමන් එද්දි පිස්තෝලෙ අරං ආපු නැති වග ජෝර්ජ්ට මතක් වුණේ ඉන පටියේ තිබුණ පිස්තෝල රඳවනේ හිස් කියලා අතට දැනුණහම. ඒ එක්කම දැනුණු අහේතුක බය නොදැනුවත්වම ජෝර්ජ්ට එයාගේ අස්සයාව ආපහු හරව ගන්න එක පමා කලා. මේරි බලන් හිටියේ තමන් ජීවිතේටවත් දැකලා නැති මිනිහෙක් මෙච්චර තරහින් තමන්ගේ දිහාවට එන්නේ ඇයි කියලා. මීදුම අස්සෙන් තමන් ගාවට එන මේ මිනිහා ගැන තප්පරේකට බයක් ආව නිසා ජෝර්ජ් ගේ පිහිට බලාපොරොත්තුවෙන් හැරුණත් ජෝර්ජ් මේ වෙද්දිත් තමන් ව අතහැරලා දුවන්න බලාපොරොත්තුවෙන් ඉන්න වග මේරිට ඒ තප්පරේම තේරුණා. තමන්ට හිතා ගන්නත් බැරි වේගෙන් ලංවුණ මේ කළු මිනිහා තමන්ව අස්සයාගේ පිටින් ඇදලා ගත්තෙත් ජෝර්ජ් අස්සයා පිටින් තමන්ව දාලා යන්න හදන්නෙත් වෙඩි හඬවල් දෙකක් ඇහුනෙත් එකම වෙලාවට කියල විතරක් මතක තිබුණු මේරි ආයෙ ඇස් ඇරියේ නෑ.
ඝණ මීදුමේ ම තමන්ගේ ඉලක්කය වැරදුණා කියලා ලෝක්නාථ් දැන ගත්තේ ලේ විලක් මැද වැටිලා හිටිය මේරිත් වේලුත් දැක්කම. වාව ගන්න බැරි වේදනාවක් එක්ක වෙච්ච දේ හිතා ගන්නත් බැරි වුණාට මෙච්චර කල් පාවිච්චි නොකර තිබුණු බට දෙකේ තුවක්කුවේ උණ්ඩ දෙකක් එක පාර පිට වෙලා තුවක්කුව ගැන තමන්ගේ විස්වාසේ කැඩුවා විතරක් කියලා තේරුණා.
මොලකැටි රෝස මලක් කාලේ ඉඳන් තමන් ගේ නොවුණත් තමන්ගේ වගේ ආදරෙන් බලා ගත්තු මේරිට තමන් අතින් ම මෙහෙම කරදරයක් වෙයි කියලා නොහිතපු ලෝක් නාථ්ට ඒ මොහොතෙම තමන්ගේ ජීවිතය ගැන තිබුණු විස්වාසේ නැති වුණා. ඒ ආවේගයෙන් ම එතනම තිබුණු වේලු ගේ අතේ තද වෙලා තිබුණු උදළු කෙටිය අරන් මහ පාන්දර වෙනකං ලොකු බුහුරක් හදලා ලොකු ආදරයකින් ප්‍රාණය නිරුද්ධ මේරිවත් ඒ ලඟින්ම වේලුවත් ආදාහනය කරපු ලෝක් නාථ් ඒ උඩින් ගල් ඇතුරුවේ අඩු ගානේ මේරිගේ දේහයට වනේ වන සතෙකුගෙන්වත් හානියක් වෙයි කියන බයට. පහුවදාට ඉර එලිය වැටෙන පලමු ඇහිල්ල වෙද්දි ලෝක් නාථ් පොඩි කුරුස පොඩියක් ගල් කෑලි හතරකින් හදලා ඒකේ තමන්ට මතක තිබුණු දෙමල අක්ෂර වලින් “සමාවෙන්න” කියන වචන ටික කොටලා අහවර වෙලා තිබුණේ. තමන්ගේ ජීවිතේ පරම සතුරා වෙච්චි මෝල්ස්වර්ත් තමන්ට කිසි සමාවක් නොදෙන වග දැන හිටියට ඊටත් වඩා තමන්ගේ හෘද සාක්ෂිය තව කිසිම දේකට ඉඩ නොදෙන වග තේරුණු ලෝක් නාථ් අවසාන වතාවටත් මේරිත් මේරි ලඟින්ම හිටි වේලුටත් සමු දීලා කෝච්චි පාර දිගේම ඔහිය පැත්තට ඇදුණා… ඒ තමයි ලෝක්නාථ් ව නැගෙන හිරු දැකපු අන්තිම වතාව.

 

 

 

මෙය පළමුවරට මෙම කතෘ විසින් ම https://medium.com/@milzybud  හි පල කරන ලදී.

About The Author

මිලානි බුද්ධිකා

ඇය මන්දාකිණියේ හමුවෙන පුංචි දූවිලි පොදක්..

1 Comment

  1. tHALATHA WIJERATHNA

    The writer < Milani ihas power of imagination. I find her story ,interesting. I think she has done reserch on the construction of rail way in Srilanka. Keep it up, dear Milani.

    Reply

Leave a Reply to tHALATHA WIJERATHNA Cancel reply

Your email address will not be published. Required fields are marked *