බෙර වාදකයාගේ කතාපුවත
දිනක් බෙරවාදකයකු තම පුතා සමග බරණැස් නුවර උත්සවයකට සහභාගි වුණා. ඔවුන් එහිදී පැමිණ සිටි පිරිසට බෙර වාදනයන් ඉදිරිපත් කළා. මිනිසුන් ඉතා සතුටට පත්ව ඔවුන්ට මුදල් ආහාර ඇඳුම් පැළඳුම් ආදිය ලබා දුන්නා. සැණකෙළියෙන් පසු ඔවුන් කැලෑබද පාරකින් නිවස බලා ගමන් ඇරඹුවෝය. ඉතා හොඳින් බෙර වාදන ඉදිරිපත් කිරීම නිසාත් බොහෝ තෑගි බෝග ලැබීම නිසාත් උද්දාමයට පත්ව සිටි පුතා කැලේ මැදින් යන අතරතුර බෙර වාදනය ආරම්භ කළේය.
“පුතා, මේ කැලේ දරුණු සොරුන් ඉන්නා බව ප්‍රසිද්ධයි. බෙර වාදනය කරන්න එපා. සොර දෙටුවන්ට මේ හඬ ඇසුනොත් ඔවුන් අප අල්ලා ගන්නට ඉඩ තිබෙනවා.” පියා පුතාට අවවාද කළේය. නමුත් පුතා නම් බෙරය ගැසීම නැවැත්වූයේ නෑ.
“පුතා, මේ අහන්න අප දෙදෙනාගේම ජීවිත අවදානමේ දාන්න එපා! ගෙදර ගිය පසු ඇති තරම් බෙරය වාදනය කරන්න.” පියා යලි යලිත් ඇවටිලි කළේය. “තාත්තේ බෙර ගැසීම නම් නවත්වන්න කියන්න එපා. බලන්නකො මේ කැලේ හොරුන් ඉන්නවනම් මේ බෙර සද්දෙ අහලම බයේ දුවයි” පුතා අකීකරු ලෙස පැවසුවේය.
ඉතින් ඔහු තව තවත් සද්දෙන් බෙරය වාදනය කළා. දන්නවාද වුණදේ? පියා කියූ ලෙසම මේ කැලේ සිටියා හොරු කණ්ඩායමක්! මේ කණ්ඩායමේ නායකයාට බෙර හඬ ඇසුණා.
“අපි ගිහින් පහර දෙමු” එක් සොරකු යෝජනා කළා. හඬ අනුව ගොස් ඔවුන් බෙර වාදකයා හා ඔහුගේ පුතා වටකරගත්තා. ඔවුන් සතු දේ උදුරාගෙන දෙදෙනාම එලවා දැම්මා.
“පුතා මම කිව්වා නේද ශබ්ද කරන්න එපා කියල. ඔබ මම කියන දේ ඇහුවේ නෑ. ඔබ දක්ෂ වෙර බෙර වාදකයෙක්, නමුත් ඔබ කොතරම් දක්ෂ වුණත් එය යොදා ගතයුත්තේ අවශ්‍ය වේලාවටත් සුදුසු වේලාවටත් පමණයි.” පියා ගැඹුරු හඬින් පැවසුවා. ඔහුගේ හඬ ජීවිතයේ හෝ බේරාගැනීමට හැකි වීමේ සතුට මිශ්‍රව තිබුණා. “තාත්තේ මට සමාවෙන්න. අද මම පාඩමක් ඉගෙන ගත්තා. යළි කිසිදාක මම වගකීමක් නැතුව, නොසැලකිලිමත්ව හැසිරෙන්නේ නෑ.” කලකිරුනු හඬින් පුතා පොරොන්දු උනා. බෙර වාදකයා හා ඔහුගේ පුතා හිස් අතින්ම නිවස බලා ගමන් ඇරඹුවා.
තරුණ උද්දාමයෙන් මත් වී පලපුරුදු වැඩිහිටි උතුමන්ගේ අවවාද අනුශාසනා නොතකන බොහෝ අයට උදාවෙන්නේ මෙවැනිම ඉරණමකි. එකල ඒ නුවණැති පියාණන් වූයේ අපගේ උතුම් බෝධිසත්වයන් වහන්සේ මය.
සිංහලට පරිවර්තනය: චතුරිකා රාජපක්ෂ