
පිට කසපිය – ගිනි පිඹපිය
ජන කතාවක් ඇසුරෙනි.
පොඩි ගමරාළත් මහ ගමරාළත් අයියා මලෝ. මේ අයියා මලෝ පෙනුමෙන් සෑහෙන දුරට එක වගේ. එක අඹුවක් එක්ක දීගෙක ගිහින් හිටපු මේ දෙන්නා බොහොම සමඟියි. ඉහ නිකට පැහුන වයසට ඇවිල්ලත් දෙන්නගෙ නෑ වචනෙකින් වත් හිත් නොහොඳ නොමනාපයක් වෙලා කවදාවත්. මහ ගමයා කටකාරයි, හැබැයි ගොඩක් කටකාර මිනිස්සු වගේම ඔහුත් කරන්නෙ කටින් බතල කොළ සිටුවීම පමණයි. පිටට පෙන්වන්නෙ නම් ගණංකාරයා වගේ, කියන තරමක් කියන්නෙ ඔහු කරපු අදහගන්නත් බැරි තරම් පුදුම වීර වැඩ ගැන, නමුත් ඒ සියල්ලම හරියට අඩු කළේ වතුර සද්දෙ වගේ තමයි. පොඩි ගමයා ඒකෙ අනික් පැත්ත. ඔහු හරිම නිශ්ශබ්දයි. නමුත් හරි දහිරියවන්තයි. සද්ද බද්ද නැතිව වැඩ. සේරම හරි ගානට පිළිවෙලට.
ඉතින් මේ අයියා මලෝ දෙන්නා හේනක් කෙටුවා. නිකිණි මාසෙ හේන් ගිනි තියලා, දඬු වැට කාරිය බැඳලා ඉවර කළා. හේන මැද්දෙ ලොකු වීර ගහක් උඩ පංකාදු පහට පොඩි පැල් කොටයක් හදාගෙන ඉවර කරලා තමයි වැහි කාලෙ අල්ලලා එළවළු බෝග වර්ග ඉන්දවන්න පටන් ගත්තෙ. දවල් කාලෙ වැඩ කටයුතු කරන අතරෙ ගිමන් නිවන්න බිමින් තවත් අතු පැලක් හදා ගත්තා. වීර ගහේ පැල තියෙන්නෙ රෑ පැල් රකින්න. බෝග ඉන්දුව දවසෙ ඉඳන් බොහොම පරිස්සම් කරන්න වෙනවා හේන. ඉත්තෑවා, හාවා විතරක් නෙවෙයි, කුරුළු රෑන් පිටින් පාත් වෙන්නෙ කන්න පුළුවන් ඕනෙම දෙයක් අවුලන් කන්න බලා ගෙන.
සතියක් හමාරක් යද්දි ගිනි තිබ්බ හේනෙ කළු පස් යන්තමින් කොළ පාටට හැරෙන්න පටන් අරන්. බඩ ඉරිඟු, මෑ, මුං, වට්ටක්කා, පුහුල්, කැකිරි, බටු, මිරිස් මේ කොයිවත් පැල වෙන්න පටන් අරන්. කෙසෙල් පඳුරු හොඳ ලස්සනට ලා කොළ පාටින් කොළ දාලා. මේ කාලෙට කොයි හේනෙත් ගොවියන්ගෙ හිත් වලට සතුටුයි. හොඳ ලස්සනට සරුවට හැදෙන වට්ටක්කා කොළ දිහා බලන්නත් ලෝබයි. ගානට වහින ගොයි වැස්සත් එක්ක හැම පැළයක්ම හරි අපූරුවට හැදිලා.
ඔන්න දැන් ගොවිරාළලාට වැඩ වැඩිම කාලෙ. තමන්ගෙ දෑහ වගේ හේන් පරිස්සම් කරන්න ඕනෙ මේ කාලෙට. නැතිනම් අලියා, ගෝනා, ඌරා, මුවා විතරක් නෙවෙයි, ගස් උඩට වෙලා විරිත්තන රිලා හැත්ත වුණත් අහක බලන එක මොහොතට හේනට පැනලා විනාස කරන්න පුළුවන්. එහෙම වුණොත් මාස ගාණක මහන්සිය වතුරෙ. ඒ විතරක්ද, අවුරුද්දකට කන්න තියෙන අස්සැන්න, සල්ලියක් බාගයක් හම්බ කර ගන්න මේ වන්නිකරේ ගොවිරාළලාට තියෙන්නෙ මෙච්චර නොවැ.
බව බෝග රැකගන්ට අයියනායක දෙවි පිහිට පතලා ගොවිරාළලා පැල් රකින කොට කියන සී පද මුලු වන්නිකරේම රැව් දෙනවා. රාත්‍රියේ නිහඬ බව නිසා ඒ කවි ඈතට ඈතට ඇහෙනවා. මෙයින් හේන් වදින සත්තු බය කරන එකට අමතරව පැල් රකින ගොවිරාළලාගෙ නිදිමත නැති වෙන එකත් කාන්සිය නැති වෙන එකත් දෙකම වෙනවා.හොඳ ලස්සනට තාලෙ අල්ලලා ඈතට ඇහෙන්න එක පැලකින් කියන කවි පදේට පිළිතුරු කවිය තවත් ඈත පැලකින් ඇහෙනවා. එළි වෙන ජාමෙ වෙනකම් සෙල්ලම මෙහෙම තමයි.
“පෙර කලේ කරපු අකුසල් පල දීලා
මෙම කලේ විඳිති දුක් පැල වලට වෙලා….”
“සේතන් ගොයියෝ!!!”
“හූ!!!”
“හා! මුන්දැ අද මටත් කලියෙන්ම ඇවිල්ලා…”
“රජ කලේ පටන් පුරුදුයි පැල් රැකලා
අපි රාලේ, කියමු පැල් කවි තෝරාලා….”
“බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනේ
කුඹේ බැන්ද ධජයක් සේම වැනි වැනේ
නුඹේ පිහිට ඇත්නම් මෙමට පුළුවනේ
හිමේ කෙඳිරි ගෑ වෙන ලෙඩකි බඩගිනේ…”
ඔන්න ඔයාකාරෙන් අපේ මහ ගමයයි පොඩි ගමයයි දෙන්නත් පැල් රකින කාලෙ උදා වුනා. අයියා මලෝ මාරුවෙන් මාරුවට තමයි පැල් රැකිල්ල. ඔය විදිහට ටික කාලයක් පැල් රැකිල්ල කරගෙන ගියා. එදා අමාවක දවසක්. මහ ගමයා හේනට යන්ට පිටත් වුණා. ගෙදර උන්දෑ දුන්න ලබු කැටෙත් බත් මුලත් අරන් “යෝදියෙ මං යඤ්ඤා, මලයටත් කියාපං” කියාගෙන හුළු අත්තත් වන වනා මගට බහින කොටම මහ ගමයට ඇහුණෙ ගෙයි ඉලුක් වහල අස්සෙ ගල් හූනෙක් ටක ටක ගාල අඬන සද්දෙ. හූනා ඇඬුවට යන ගමන නොයා කොහොමදෑ කියලා මහ ගමයත් නොනැවතීම හේනට ගියා.
හඳ නැති දවසෙ වටපිටාව තිත්ත කරුවලයි. වීර ගහ ලඟින් වෙන්ට ගහපු ගිනිමැලේ එළිය ඇරෙන්ට වෙන එළියක් නෑ. පහුගිය මාසෙ තිස්සෙ පැල් රැකලා මහ ගමයට බොහොම මහන්සියි. ඇඟේ පතේ විඩාව යන්ට ඔහු ගිනි තපින්ට පොඩ්ඩක් ඇල වුණා. ටික වෙලාවකින් ඔහුට නොදැනීම නින්ද ගියා. හෝරාවකට දෙකකට පස්සෙ ඔහුට හදිසියේ තිගැස්සී ඇහැරුණා. ගිනි ගොඩේ එළියෙන් ඔහු දුටුවෙ උපන්තේකට දකින්න හීනෙකින් වත් හිතපු නැති දෙයක්. මහ විසාල දිවියෙක් ගිනි ගොඩ ගාවට වෙලා ඔහු දිහා බලා ඉන්නවා. බයටම මහ ගමයා ඉන්ද වුනා. නමුත් දිවියා කලබලයක් නැති පාටයි.
“පොඩි ගමයාද, මහ ගමයාද” දිවියා ඇහුවා. “මහ ගමයා,හාමුදුරුවනේ” මහ ගමයා බයෙන් වෙවුලමින් උත්තර දුන්නා.
“ඔහොම ඉඳගනින්”
දිවියාගෙ අණට කීකරු වෙනවා හැරෙන්ට වෙන කරන්න දෙයක් ඔහුට තිබුනෙ නෑ.
“මෙහාට ගං ඔය බත් මුල”
“එ..එහෙමයි හාමුදුරුවනේ”
මහ ගමයා බොහොම යටහත් පහත්ව බත් මුල දිවියා ඉදිරියෙන් තැබුවා. මායියා බොහොම රසට හදපු වල් ඌරු මස් හොද්දත් එක්ක කුරහං තලප ගිලින දිවියා දිහා ගිරේට අහුවුණ පුවකෙ වාගෙ මහ ගමයා බලන් උන්නා. කාලා අහවර වෙලා ගිනි ගොඩ ගාවින් දිවියා දිග ඇදුනා.
“පණට ආසාවක් ඇත්නම් මම කියන හැටියට වැඩ කරපිය. මට නින්ද යනකම් මගෙ පිට කසපිය” දිවියා කිව්වා… මහ ගමරාලත් එකඟ වුනා.
“පිට කසපිය – ගිනි පිඹපිය”
දිවියාට නින්ද යනකම් මහ ගමරාල දිවියාගෙ පිට කැසුවා; ගිනි ගොඩ අවුස්සලා හොඳට ගිනි පිම්බා. එලිවනකම් ඔහුගෙ රාජකාරිය වුණේ ඒක. උදෑහැනැක්කෙ දිවියා හේනෙන් යන්ට ගියා. මහ ගමරාලත් ගෙදර ගියා. හිතට බොහොම අමාරුයි මේ වුණ දේට. ඒත් කාටවත් කියන්නෙ කොහොමද. අම්මා මුතුන් කාලෙ අහපු දෙයක්ද මේ උණේ. අනිත් එක, අච්චර සෙනග ඉස්සරහ තමන්ගෙ වීරකම් ගැන කයිවාරු ගහපු මහ ගමයා කොහොමද කටක් ඇරල කාත් එක්ක වත් මේ කතාව කියන්නෙ.
මහ ගමයා පැල් රකින හැමදාම හේනට එන්න දිවියා පුරුදු වුණා. ඔහුව බය ගන්නාගෙන බත් මුල කාලා නින්ද යනකම් පිට කසවා ගන්න දිවියා උදේ පැලෙන් පිට වෙලා යනවා. නමුත් පොඩි ගමයාගෙ හැටි දන්න නිසා දිවියා පොඩි ගමයා පැලට එන දවසට මේ වැඩේ කරන්නෙ නෑ.
හිතේ අමාරුව නිසාද, බය නිසාද, රෑට හරි කෑමක් නින්දක් නැති නිසාද දන්නෙ නෑ මහ ගමයා එන්න එන්න කෙට්ටු උණා. පොඩි ගමයාට අයියණ්ඩිගෙ මේ වෙනස තේරුණා. ඇහුවට හේතුවක් නොකීවට බොහොම පෙරැත්ත කරලා හේතුව දැනගන්න පොඩි ගමයට පුළුවන් වුනා. ඔහුට බොහොම කේන්තියි. දිවියෙක් ඇවිදින් තමන්ගෙ අයියට කරන අඩත්තේට්ටම ගැන ඔහුට බොහොම තරහයි. හොඳයි කරන්නම් වැඩේ කියලා හිතපු පොඩි ගමයා දවසක්දා තමන්ගෙ අයියා පැල් රකින දවසක පැලට යන්ට ලෑස්ති වුණා.
“අයියණ්ඩි අද ගෙදර හිටපන්. අද උඹ වෙනුවට මම යන්නම්” කියපු පොඩි ගමයා හොඳ උපායක් හිතේ තියාගෙන හේනට යන්ට පිටත් වුණා. ගිනි මැලේ ගාව හාන්සි වෙල ඉන්නකොට දිවියා ආවා.
“මහ ගමයාද, පොඩි ගමයාද?” දිවියා ඇහුවා පුරුදු විදිහටම.
“මහ ගමයා, රාළහාමි” පොඩි ගමයා මහ ගමයා වෙනුවට උත්තර දුන්නා.
“මෙහෙට දීපිය තොගෙ බත් මුල”
“එහෙමයි හාමුදුරුවනේ”
දිවියා බත් මුල යහමින් වැළඳුවා තලු මර මර. ඊළඟට පුරුදු විදිහට ගිනි මැලය ගාවින් දිගා වුනා.
“පිට කසපිය – ගිනි පිඹපිය”
පොඩි ගමයාට හොඳ ගානට කේන්තියි දිවියාගෙ අහංකාර කතාවට. ගිනි ගොඩට කල් තියාම දමා තිබුණ යකඩ බටය හොඳට ගිනියම් වෙලයි තිබුනේ මේ වෙන කොට. යකඩෙ හොඳට රතු පාට වෙලා. “හොඳයි රාළහාමි, පිට කසන්නම්” කියපු පොඩි ගමයා අර ගිනියම් උන යකඩෙ අරන් දිවියගෙ පිටේ තිබ්බා.
“සුරු සුරු” ගාලා සද්දයක් එක්ක පිළිස්සෙන ගඳකුත් ආවා. දිවියා මහ හඬින් මරහඬ තලාගෙන එතනින් පැන ගියා ගියාමයි, ආයේ මහ ගමයාටවත් පොඩි ගමයාටවත් කවදාවත් කෙණෙහිලි කමක් නම් සිද්ද වුණේ නෑ.