බ්‍රයන් ඇඩම්ස්

කුඩා අවදියේදී මාගේ ආකර්ශණය දිනා ගත් සුප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනෙකු විය. එක් අයෙකු වූයේ Robin of Sherwood බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවේ රොබින් හුඩ් චරිතයට පණ පෙවූ ‘මයිකල් ප්‍රෙඩ්’ය. අනෙක් තැනැත්තා වූයේ ලෝක ප්‍රකට ගායන ශිල්පී ‘බ්‍රයන් ඇඩම්ස්’ය. ඔහුගේ හඬ සහ කඩවසම්බව හේතුවෙන් මම ඔහු ඉතා ප්‍රිය කළෙමි. බ්‍රයන් ඇඩම්ස් යනු අදටද මා ප්‍රිය කරන ගායකයන් අතරින් එක් අයෙකි.

මෑතකදී බොලිවුඩ් පුවත් වෙබ් අඩවියක සැරිසරමින් සිටියදී දුටු සිරස්තලයක් වහා මගේ නෙත් ඇදගත්තේය; “Guess වෙළඳ නාමය වෙනුවෙන් බ්‍රයන් ඇඩම්ස් විසින් රූමත් ප්‍රියංකා චොපරා රංගන ශිල්පිනිය ඡායාරූප ගත කරයි.” බ්‍රයන් ඇඩම්ස්? මම පුදුමයට පත් වුනෙමි. “නෑ.. මේ ඔහු නම් විය නොහැකියි”, ඒ මාගේ පළමු හැඟීමයි. නමුත් කුතුහලය හේතුවෙන් මම සම්පූර්ණ ලිපියම කියෙව්වෙමි. පුදුමයකි! මාගේ ප්‍රියතම ගායකයා ඔහුගේ දෙවන වෘතිය ලෙස ඡායාරූපකරණය තෝරා ගෙන තිබුණි. අන්තර්ජාලය ඔස්සේ මම තව තවත් කරුණු සෙව්වෙමි. සංගීත ලෝකය තුළ බ්‍රයන් ඇඩම්ස්ගේ ජනප්‍රියත්වය බිඳකුදු අඩු නොවී තිබියදීම ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු අරඹා ඇත.

ඔහු විසින් ගන්නා ලද ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ ඡායාරූප මට ඔහුගේ නිල වෙබ් අඩවියෙන් හමුවිය. මීට අමතරව ඔහු 2014දී “Wounded: the Legacy of War” නමින් පොතක්ද පළකර තිබිණි. එය ඉරාකයේ, ඇෆ්ඝනිස්ථානයේ හෝ යුධ පුහුණුව අතරතුරදී බරපතල ආබාධ වලට ලක් වූ තරුණ බ්‍රිතාන්‍ය යුධ සෙබළුන්ගේ ඡායාරූප එකතුවකි. මෙම පොත ඇමසෝන් වෙබ් අඩවියෙන් මිලදී ගත හැක. පහළ ඇති ලින්ක් එක භාවිතයෙන් එම පොතේ අඩංගු සමහරක් ඡායාරූප ඔබට නැරඹිය හැක. මේ සංවේදී ඡායාරූප ඔබගේ නෙතට කඳුලක් එක් කරනු නොඅනුමානය. දැන් මා බ්‍රයන් ඇඩම්ස් නම් ජනප්‍රිය කලාකරුවාට තව තවත් ප්‍රිය කරමි. ඔහු මා වඩාත් අගය කරන කලාකරුවන් අතර සැමදාමත් රැඳෙනු ඇත.

Wounded: the Legacy of War: http://www.independent.co.uk/news/uk/home-news/bryan-adams-heartstopping-images-of-wounded-british-soldiers-to-go-on-show-at-somerset-house-9826687.html

About The Author

හසිතා අධිකාරිආරච්චි

හසිතා අධිකාරිආරච්චි, 2017 දී ඔස්ට්‍රේලියාවේ (NSW) බහු-භාශා කවි තරඟය ජයග්‍රහණය කළාය. පාසැල් වියෙදී ඇය කියවූ 'රන් රෝස' නමැති කෘතිය නිසා ලේඛිකාවක් වීමේ බලාපොරොත්තුවක් ඇතිව, විවිධ ලේඛන වැඩමුළු වලට සහභගි වී තම හැකියාව වැඩි දියුණු කරගන්නට උත්සාහ කළාය. කුඩා කල සිටම සාහිත්‍ය නිර්මාණයට ප්‍රිය කළ ඇය 2013 දී තම නිර්මාණ එළි දැක් වීමට මෙම වෙබ් අඩවිය ආරම්භ කළාය. සිඩ්නි නුවර දකුණු ආසියානු කලා , සිනමා හා සාහිත්‍ය උළෙල SAFALහි ඇය, ශ්‍රි ලංකාව වෙනුවෙන් සහභාගි වූ ලේඛකයන් කිහිපදෙනා අතරින් එක් අයෙකි.

Leave a reply

Your email address will not be published. Required fields are marked *