පිරුණු හදක්

ජීවිතයේ අප මුහුණ දෙන සමහර කුඩා සිදුවීම් සරළ සහ නොවැදගත් ලෙස හැඟෙන මුත්, විටෙක ඒවා අපේ හදවත් ප්‍රීතියෙන් පුරවා ලයි. තවත් විටෙක ඒවා ජීවිතය පිළිබඳ අපේ මුළු මහත් දැක්මම වෙනස් කිරීමට තරම් ප්‍රබල වෙයි. මෑතකදී මාද මීට සමාන අත්දැකීමකට මුහුණ දුන්නෙමි. මගේ මතකය නිවැරදි නම් ඒ මීට ටික කලකට පෙර පුද්ගලික බස් රථ වර්ජනයක් පැවති දිනයකි. නිරන්තරයෙන් බස් රථ වල ගමන් බිමන් යන මාද මේ වර්ජනයෙන් පීඩාවට පත් වූවන් අතර විය.

විශ්ව විද්‍යාලයේ අනිවාර්යයෙන් සහභාගි වියයුතු අධ්‍යයන වැඩමුලුළුවක් පැවති එදින මට ඉතා වැදගත් දිනයක් විය. අවාසනාවට එදින අපේ පවුලේ පුද්ගලික මෝටර් රථයද අලුත්වැඩියාවක් සඳහා ගරාජය වෙත ගෙනගොස් තිබිණ. කුලී රථයක් හෝ බස් රථයක් භාවිතා කිරීම හැර වෙනත් විකල්පයක් නොවූ අතර, විශ්ව විද්‍යාලය වෙත යෑමද එදින අනිවාර්ය වූ නිසා මම හන්දියට ගියෙමි. බස් වර්ජනය හේතුවෙන් කෝපයට පත්ව යළි නිවසට පැමිණෙමින් සිටි අසල්වැසියන් රැසකගේ උපදෙස් හා වැළක්වීම් නොසලකා හැරි මට ඔවුන් නිවැරදි බව බස් නැවතුම පෙනෙන මානයේදී තහවුරු විය. කොළඹ සහ ආසන්න ප්‍රදේශවලට ගමන් කිරීමට අවශ්‍ය වූ සියයකට අධික පිරිසකගෙන් බස් නැවතුම පිරී පැවතිණ. කුමක් කරන්නදැයි සිතමින් වටපිට බලන මට පිරිස අතරින් මගේ මිතුරියකගේ සිනහ බර මුහුණ මතු වී පෙනුනේ සිතේ කුඩා අස්වැසිල්ලක් ඇතිකරමිනි. ඇයද මා මෙන් විශ්ව විද්‍යාලයට යෑමේ අරමුණින් එහි රැඳී සිටියාය. විශ්ව විද්‍යාලයට ගමන් කරන්නදැයි එකිනෙකා හා කතා කරමින් සිටින අතර ලංගම බස් කිහිපයක්ම බස් නැවතුම වෙත ලඟා විය. ‘ශක්තිවන්තයා ජය ගනී යන්න” තහවුරු කරමින් ශක්තිමත් පිරිමින් කිහිප දෙනෙක් සහ වේගවත් ගැහැණුන් කිහිප දෙනෙකුත් පමණක් ඒවායේ නැග ගැනීමට සමත් වූහ. අප වැනි දුර්වලයන් බස් නැවතුමේ ඉතිරි කර ලංගම බස් කීපයක්ම බස් නැවතුමෙන් පිටත්ව ගියේ ඒවායේ සෙනග උතුරමින් පිපිරෙන්නටද ආසන්නවය.

තත්පර කිහිපයකට පසු අප ඉදිරියේ කාර් රථයක් නතර වූ අතර එහි සිටි කාන්තාව අප යා යුත්තේ කොතනටදැයි විමසා සිටියාය. වාසනාවකට මෙන් අපේ ගමනාන්තයත් ඇයගේ ගමනාන්තයත් සමාන වූ බැවින් ඇය සමඟ යාහැකි බව ඇය අපට දන්වා සිටියාය. රථය තුළ කුඩා දරුවෙකුද ආහාර ගනිමින් සිටි බැවින් මෙහි ගමන් කිරීම ආරක්ෂිත යයි අපි තීරණය කළ අතර, ඒ කරුණාවන්ත කාන්තව අපව සුවපහසුව සහ ආරක්ෂිතව විශ්ව විද්‍යාලය වෙත ගෙන ගොස් ඇරලුවාය. බොරදියේ මාළු බාන පුද්ගලයින් බහුල වර්තමාන සමාජයේ මෙම ක්‍රියාව භයානක සහ අනාරක්ෂිත එකක් ලෙස කෙනෙකුට තර්ක කළ හැක. නමුත් මට නම් එය සුපිරිසිදු මනුසත් ක්‍රියාවකි. නාඳුනන මිනිසුන් මිනිසත්කම පමණක් සලකා එකිනෙකා විශ්වාස කිරීමකි. ඇය අපිව විශ්වාස කළ අතර අපි ඇයව විශ්වාස කළෙමු. මිනිසුන් ලෙස අපි එකිනෙකා විශ්වාස කළෙමු. සරලවම සිතන කළ මිනිසත්කම යනු මෙය විනා වෙනත් කුමක්ද? ඒ කාරුණික කාන්තාව උණුසුම් පිරුණු හදවතක් ඇති අයෙකි.

ශබ්ද විකාශන යන්ත්‍ර පවා යදාගෙන ප්‍රසිද්ධ කරනා පින්කම් වලට අපේ ඇස කන යොමු වුවත්, මෙවැනි නිහඬ කාරුණික ක්‍රියාවන් අපි අතින් නොසලකා හැරේ. අසීරු අවස්ථාවල ස්වේච්ඡාවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වන්නේ අවැසි විට මතුවන සහකම්පනයෙන් යුත් මිනිසත් බවයි. එසේ ඉදිරිපත් වන්නේ හුදෙක් සුවිසල් පිරුණු හදවතක් ඇති මින්සත්බවින් හෙබි මිනිසුන්මයි.

සිංහලට පරිවර්තනය: චතුරිකා රාජපක්ෂ

About The Author

සඳුනිකා හසංගනි

සඳුනිකා හසන්ගනී මේ දිනවල ජපානයේ සිට සමාජ විද්‍යාව පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරමින් සිටින්නීය. කියවීම සහ ලිවීම ඇගේ ප්‍රියතම විනෝදාංශ වේ. ලේඛන කලාවෙන් ආත්ම තෘප්තියක් ලබා ගන්නා ඇය විනොදයට ඡායාරූප කලාවේද (වන ජීවි ඡායාරූපකරණය ), චිත්‍ර කලාවේද, සුන්දර ස්ථාන සොයා සංචාරය කිරීමේද යෙදෙන්නීය.

2 Comments

  1. Lakshman Perera

    පරාර්ථචර්යාව පිළිබිඹුවූ එම කාන්තාව ඉතාමත් අගය කළ යුතවාක් මෙන්ම තම අත්දැකීම, ප්‍රශංසා මුඛයෙන් පළ කළ ඔබටද මම ප්‍රශංසා කරමි.

    Reply

Leave a Reply to Lakshman Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *